මේ චිත්‍රපටය මුලින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන්නේ ඇයි කියලා බැලුවොත්, ඒකට ප්‍රධානම හේතුව තමයි මේකේ කතා කරන සංවේදී මාතෘකා. සමූහ ලිංගිකත්වය, විවෘත සම්බන්ධතා වගේ දේවල් ගැන කෙළින්ම කතා කරනවා වගේම, දෙබස්වල පාවිච්චි කරලා තියෙන භාෂාවත් බොහොම බරින් වැඩියි. හැබැයි ඊටත් වඩා මේක වැඩිහිටියන්ටම වෙන් වෙන්නේ, විවාහ ජීවිතේ ඇතුළේ එන කලකිරීම්, ලිංගික අසහනය වගේ ළමයෙක් බැලුවා කියලත් තේරුම් ගන්න බැරි ගැඹුරු මානසික මට්ටම් ගැන මෙහි කතා කරන නිසයි. මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ වර්තමානයේ සමාජයේ ගොඩක් විවාහ ජීවිත ඇතුළේ තියෙන හැංගුණු හිස්කම. මතුපිටින් ලස්සනට පෙනුණට, කාලයක් යද්දි දෙන්නෙක් අතරේ කතාබහ නැති වුණාම, ලිංගිකත්වය කියන දේ නිකම්ම පුරුද්දක් නැත්නම් වදයක් වුණාම මිනිස්සුන්ගේ හිත් ඇතුළේ මොකද වෙන්නේ කියන එක තමයි මේ කතාවට පදනම වෙලා තියෙන්නේ. තමන්ගේ හීන හැබෑ කරගන්න බැරි වුණු මිනිස්සු ඒ තරහව තමන්ගේ සහකරුවා පිටින් යවන විදිහ මේකෙන් මාරම තාත්විකව පෙන්නනවා. ඇත්තටම මේක පිටුපස තියෙන්නේ සමාජයේ අපි එදිනෙදා දකින, හැබැයි එළිපිට කතා කරන්න අකමැති ඇත්තම යථාර්ථයක්. මේ ෆිල්ම් එකේ තියෙන තවත් සුවිශේෂීම දේ තමයි මේක සම්පූර්ණයෙන්ම වගේ තනි ලොකේෂන් එකක රූගත කරලා තියෙන එක. එකම එක අපාට්මන්ට් එකක් ඇතුළේ මුළු කතාවම ගෙනියන එක අධ්‍යක්ෂකවරයෙකුට ලේසි වැඩක් නෙවෙයි. ඒකට නිර්මාණකරුවන්ගේ දක්ෂ තිර රචනය වගේම, රංගනයෙන් දායක වන ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන් හතර දෙනාත් හේතු වෙලා තියෙනවා. ලොකු ලොකු දර්ශන තල නැතත්, මේ රංගන ශිල්පීන්ගේ ඇස්වලින්, මුහුණේ ඉරියව්වලින් සහ දෙබස් කියන රිද්මයෙන් මුළු කතාවේම බර අදින්නේ එයාලා. ඒ වගේම මේක පටන් ගත්ත වෙලාවේ ඉඳන් තනිකරම තියෙන්නෙ කතා කරන එක විතරයි. සමහරවිට ඒ අතර තත්පර 20ක් 30ක් උපරිම දෙබසක් නැතුව තියෙනවා ඇති.
No comments yet.